අපගේ දැක්ම
පුර්ණ ගුණාත්මක හා ධනාත්මක චින්තනයෙන්
හෙබි රජ්‍ය සේවයක් තුලින් ප්‍රදේශයේ ජනතාවට
විශිෂ්ඨ වු සේවයක් සැපයීම.
අපගේ මෙහෙවර
"රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම,සම්පත් සම්බන්ධීකරණය හා
ජනතා සහභාගිත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැළසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක්
තුලින් වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙහි ජන ජීවිතය නංවාලීම."
වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටීම මුල් කරගත් තොරතුරු
ශ්‍රී ලංකාවේ වයඹ පලාතේ පුත්තලම් දිස්ත්‍රික්කයේ දකුණු සීමාවේ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත.හෙක්ටයාර 4014.76 ක විශාලත්වයෙන් යුත් තැනිතලා ප්‍රදේශයක් වන වෙන්නප්පුව ග්‍රාමය වෙරළබඩ ආසන්නයේ පිහිටා ඇත.මෙහි ප්‍රධාන නගරය වෙන්නප්පුව වේ. වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට උතුරින් නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සීමාවද නැගෙනහිරින් දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සීමාවද දකුණෙන් මා ඔයෙන් හා ගම්පහ දිස්ත්‍රික්ක සීමාවද බටහිරින් ඉන්දියන් සාගරයද වේ.
අක්ෂාංශ දේශාංශ වශයෙන් සලකා බලන කල උතුරු අක්ෂාංශ 7º යි කළා 20,විකළා 36.63” ද නැගෙනහිර අක්ෂාංශ 79° කළා 50,විකළා 26.25” අතර පිහිටා ඇත.
වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ග්‍රාම නිලධාරී වසම් 52 ට බෙදා පරිපාලන කටයුතු පහසු කර ගෙන ඇත.වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සාමාන්‍ය වර්ෂාපතනය මි.මි.1400 ට වඩා වැඩිය.කොට්ඨාශය මැදින් ගිං ඔය ගලා යන අතර අතීතයේ භාණ්ඩ ප්‍රවාහනය සදහා යොදා ගන්නා ලද අතර පාරු ඇල හෙවත් හැමිල්ටන් ඇලද ගිං ඔය සමග ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළින් ඇදී යයි.කොට්ඨාශයේ පවතින වැව් සංඛ්‍යාව10 ක් වන අතර අක්කර 3 ට අඩු වෙන්නප්පුව ගොරකගහ වැව සහ මිරිස්සන්කොටුව කුළම වැව හැරුණු විට අනෙකුත් වැව් සියල්ල අවුරුද්ද මුලුල්ලේ නොසිදී පවතී.කොට්ඨාශයේ පහත් බිම්වල භූගත ජල මට්ටම අඩි 8-10 ක් පමණ ගැඹුරින් පිහිටා ඇති අතර පොඩිසෝලික් පස සහිත උස් බිම්වල භූගත ජල මට්ටම අඩි 35-40 ක් ගැඹුරින් පිහිටා ඇත.වියලි කාලගුණයක් පවතින මාස වන පෙබරවාරි,මාර්තු,අගෝස්තු කාලවලදී උස් බිම්වල පිහිටි ළිං සමහරක් සිදී යයි.
වෙන්නප්පුව කොට්ඨාශයේ පසෙහි විශේෂත්වයක් දක්නට ලැබේ.මහ ඔය සිට උතුරු දෙසට විහිදෙන වෙරළෙහි මීටර් 200 සිට 300 පමණ රට අභ්‍යන්තරය දක්වා පැතීරී යන වැලි පස කොට්ඨාශයේ උතුරු මායිම් දක්වා විහිදී යයි. මුහුදු බඩ තීරයේ උතුරු දෙසට මහ ඔය සිට නයිනමඩම දක්වා විහිදෙන තරමක් මැටි දියලු පසක් දක්නට ලැබේ. මුහුදු වෙරළේ සිට කි.මි.3 සිට 4 දක්වා නැගෙනහිර දෙසට ව්‍යප්තව තිරුවක් ලෙස මහවැව තෙක් ඉතා ගැඹුරු ලෝම පසක් වන රොගොසාල් පස පැතිර ඇති අතර මෙය ලංකාවේ සිමිතව පැතිර ඇති පාංශු සමිපතකි.
ඓතිහාසික පසුබිම
වෙන්නප්පුව නමින් මේ ගම හැදින්වීම පිළිබදව මතිමතාන්දර කිහිපයක් ඇත. එක් මතයක් වනුයේ මෙහි විසු වන්නියාර් වරයෙක් නිසා වෙන්නප්පුව යන නම ඇති වු බවයි. වන්නියාර් විසු පුරය වන්නියාර් පුරය ලෙසක් එය පසුව වෙන්නප්පුර,වෙන්නප්පුව ලෙසටත් වෙනස් වු බවට මතයක් පවතී.
තවත් මතයක් වී ඇත්තේ විශ්ණු දේවාලය යන අර්තයෙන් වෙන්නප්පුව යන නමින් නම් කෙරැණු බවයි. දැනට කිඹුල්ගාල නමින් හැදින්වෙන ගිං ඔය වක්‍රව ගලා යන උතුරු නැගෙනහිර කොණේ ශිව හෙවත් විශ්ණු දෙවියන් වෙනුවෙන් දෙවොලක් ඉදි කරනු ලැබු බවත් විශ්ණු දෙවියන්ට කැප වු ප්‍රදේශය විශ්ණු පුරය හෙවත් වෙණුපුර විය. එසේත් නැතිනම් විශ්ණු දෙවියන්ට දෙමළ භාෂාවෙන් කී නම අනුව වෙන්නාර්පුරම් වෙන්නාපුර් යනුවෙන් වෙනස් වී පසු කලෙක වෙන්නප්පුව කියා පද පෙරලුණ බවයි.
මේ සම්බන්ධ තෙවෙනි මතය වන්නේ වරුණ නැමැති ප්‍රධානියෙකු මෙහි පදිංචි වීම නිසා ඔහු නමින් වර්ණ පුර නමින්ද පසුව එය වෙන්නප්පුර වී අනතුරුව වෙන්නප්පුව වු බවයි.
දෙමළ ප්‍රධානියෙකුගේ අනුගාමිකයෙකු වන වන්නම්පොන්නෙයි නැමැත්තා වෙන්නප්පුවෙහි පදිංචිව සිටි බවත් ඔහු නමින් වෙන්නප්පුව යැයි ගමට නම යෙදු බවත් සිව් වෙනි මතයකින් දැක්වේ.මෙසේ මතිමතාන්දර කිහිපයක් පැවත ආවත් අදද මැද වෙන්නප්පුව පතහවත්ත නමැති ස්ථානයේ පැරණි මාළිගයක නටඹුන් හා පොකුණක නටඹුන් දක්නට ලැබේ.
අප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආර්ථික පසුබිම
අර්ධ නාගරීකරණය,කාර්මීකරණය හා වාණිජකරණය කෙරේ සීඝ්‍ර නැඹුරුතාවයක් දක්වන වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තිබෙන සම්පත් ආශ්‍රයෙන් සිදු කරනු ලබන කර්මාන්ත අතරින් ප්‍රධාන තැනක් හිමිවන්නේ උළු කර්මාන්තයට හා ගඩොල් කර්මාන්තයටයි. ඒ අනුව උළු කර්මාන්තය මහා පරිමාණ කර්මාන්ත ශාලා ලෙසද සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශාලා ලෙසද පවත්වාගෙන යයි.ප්‍රාදේශයේ මහා පරිමාණ උළු කර්මාන්ත ශාලා 14 ක් ද සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශාලා 35 ක් ද පවති. දිවයින පුරාම අප ප්‍රාදේශයේ උළු නිෂ්පාදන ප්‍රචලිත වී ඇත.
තවද පොල් ගහ ආශ්‍රයෙන් සිදු කරනු ලබන කොහු කෙදි නිෂ්පාදන,පොල් රා නිෂ්පාදන,කපාපු පොල්, පොල්තෙල්,කොප්පරා,පොල් කටු අගුරු යනාදී නිෂ්පාදන වලින් ද අප ප්‍රදේශයේ ආර්ථිකය සවිමත් වි ඇත.ඒ අතරින් අපනයන වෙළද ආර්ථික කටයුත්තක් ලෙස කොහු කෙදි හා කොහු බත් නිෂ්පාදනය ප්‍රධාන තැනක් ගනී. අප රටට විදේශ විනිමය ගෙන එන ආර්ථික කටයුත්තක් ලෙසද මෙම කර්මාන්තය දැක්විය හැක.
එමෙන්ම අප ප්‍රාදේශය වෙරළ බඩ ආසන්නයේ පිහිටා තිබෙන බැවින් ධීවර කර්මාන්තය වෙරළ බඩ ප්‍රදේශයේ ධීවර ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය බවට පත්ව ඇත. ඒ අනුව විශාල පිරිසක් ධිවර කර්මාන්තයේ නියැලී සිටිති.ප්‍රදේශයේ ව්‍යාපාරික පිරිස වෙරළ තීරය ආශ්‍රිත සංචාරක කර්මාන්තයේ ද යෙදී සිටිති. ඒ අනුව වෙරළ ආශ්‍රිතව හෝටල්,තානායම් හා නිවාඩු නිකේතන වැනි සංචාරක ලැගුම් පිහිටා ඇත.
මීට අමතරව වර්ථමානයේ අප ප්‍රාදේශයේ ජනතාව රැකියා සදහා විදේශ ගත වීම බහුලව දැකිය හැකි ලක්ෂණයකි.යුරෝපීය රටවල් මෙන්ම මැද පෙරදිග රටවල් කරාද කාන්තා හා පුරුෂ යන දෙපාර්ශශවය ද පවුල් වශයෙන්ද විදේශ රැකියා සදහා යොමු වී ඇත.ඒ හේතුවෙන් ජනතාවගේ ආදායම් මට්ටම කැපීපෙනෙන ලෙස වර්ධනය වී ඇත.විදේශ විනිමය මෙරටට ගලා එන ප්‍රධාන මාර්ගයක් බවටද මෙය පත්ව ඇත.මේ හේතුවෙන් වෙන්නප්පුව නගරය තුල රක්ෂණ ආයතන,බැංකු හා මුල්‍ය ආයතන පිහිටුවිමත් ඒ හේතුවෙන් රැකියා අවස්ථා බිහිවීමත් රැකියා සදහා නගරයට පිවිසෙන පිරිසත් වැඩි වී ඇත. 2010 වන විට වර්ග සැතපුම් 15 ක භූමි ප්‍රමාණයක් තුල 78038 න පමණ විශාල ජනතාවක් ජීවත් වෙති.
ප්‍රවේශ මාර්ගය
වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රධාන පිවිසුම් මාර්ගය වනුයේ කොළඹ -හලාවත ප්‍රධාන මාර්ගයයි.කොළඹ සිට හලාවත මාර්ගයේ පැමිණෙන විට කොච්චිකඩේ නගරය පසුකල පසු බස්නාහිර පළාතේ එක් කෙලවරක් වන මා ඔය පාලම හමුවේ. එම පාලමේ අවසානය වයඹ පළාතේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ආරම්භක සීමාවයි. එතැන් සිට කොළඹ- හලාවත මාර්ගයේ කි.මී. 8.5 ක් පමණ ගිය පසු වෙන්නප්පුව බස් නැවතුම්පල හමුවේ.එතැන් සිට මීටර් 100 ක් පමණ ඉදිරියෙන් වම් පස වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටා ඇත.
මීට අමතරව කොළඹ- කුලියාලිටිය මාර්ගයේ (දංකොටුව ප්‍රා.ලේ.කොට්ඨාශය හරහා) පැමිණ කිරිමැටියාන නගරයෙන් වම්පසට දිවෙන කිරිමැටියාන- වෙන්නප්පුව මාර්ගයේ කි.මි.5.5 ක් පමණ පැමිණි විටද වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පහසුවෙන් ලගා විය හැක.





















